ශ්‍රී රෝහණ සංඝ සභාව

ශ්‍රී රෝහණ සංඝ සභා මූලස්ථානය ඌරාපො සිරි රතනජෝති පිරිවෙන් විහාරස්ථානයේ පිහිටුවා ඇත.

රෝහණ සංඝ සභාවේ විකාශනය

තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාද්වීපයට බුදු දහමලැබුණේය. කාලයාගේ ඇවෑමෙන් විකාශනය වී ප්‍රධාන වශයෙන් නිකාය භේදය
පදනම් කොටගෙන ප්‍රධාන නිකායන් තුනකට බෙදී ගියේය.

1. සියම් මහා නිකාය
2. අමරපුර මහා නිකාය
3. රාමඤ්ඤ මහා නිකාය

සියම් නිකායද මෙසේ තවත් කොටස් අටකට බෙදී ගියේය.

1. මල්වතු විහාර පාර්ශ්වය
2. අස්ගිරි විහාර පාර්ශ්වය
3. ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම සංඝ සභාව
4. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභා පාර්ශ්වය
5. ස්‍යාමෝපාලි වංශික ඌව පාර්ශවය
6. මහාවිහාරවංශික ස්‍යාමෝපාලි වනවාසී පාර්ශ්වය
7. ස්‍යාමෝපාලි වංශික ශ්‍රී රෝහණ පාර්ශ්වය
8. ස්‍යාමෝපාලි වංශික රංගිරි දඹුලු පාර්ශ්වය

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1986 අප්‍රේල් මස 24 වන දින රෝහණ පාර්ශ්වයේ ප්‍රථම උපසම්පදා පුණ්‍ය මහෝත්සවය ඌරාපොළ සිරි රතනජෝති පිරිවෙන්
විහාරස්ථානයේ ඒකාබද්ධ සීමා මාලකයේදී, මල්වතු මහා විහාරයේ ඒකාධිකාරීත්වයට විරෝධතාවයක් දැක්වීම පිණිස සිදුවිය. මෙහි පුරෝගාමී වූයේ පුරාවිද්‍යා චක්‍රවර්තී ප්‍රථම මහා නායක මහාචාර්ය අතිපූජ්‍ය කඹුරුපිටියේවනරතන මහා නායක හිමියන්ය.
ආරම්භයේදී ශ්‍රී රෝහණ සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී ධුරය දැරුවේ මහාචාර්ය පූජ්‍යපාද ගතාරේ ධම්මපාල හිමියන්ය. කඹුරුපිටියේ වනරතන මාහිමියන්ගේ අපවත් වීමෙන් පසුව ශ්‍රී රෝහණ සංඝ සභාවේ මහානායක ධූරය සඳහා 1998 නොවැම්බර් මාසයේ දී සාහිත්‍ය සූරී ග්‍රන්ථ විශාරද රුහුණු
විශ්වවිද්‍යාලයේ කුලපති අත්තුඩාවේ ශ්‍රී රාහුල මාහිමියෝ පත්වූහ.

2011 දෙසැම්බර් මස පළවෙනි දින අත්තුඩාවේ ශ්‍රී රාහුල මාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් පසුව තෙවැනි මහානායක හිමියන් වශයෙන්
එවකට අනුනායක ධූරය හෙබවූ රාජකීය පණ්ඩිත ත්‍රිපිටක විශාරද ගොම්බද්දල ශෛලාරාමාධිපති මහෝපාධ්‍යාය අතිපූජ්‍ය ගොම්බද්දල නන්දාරාමාභිධාන මහා ස්වාමීන් වහන්සේ 2011 දෙසැම්බර් 16 වන දින තේරී පත් වූහ. 2015 ජනවාරි මස 31 වන දින අති පූජනීය ගොම්බද්දල නන්දාරාමාභිධාන මහා නායක හිමියෝ අපවත් වූහ.

2015 පෙබරවාරි මස 21 වන දින උත්තරීතර මහා නායක පදවිය සඳහා ගාල්ල කොට්ටවගම ශ්‍රී සුමනාරාමාධිපති මහෝපාධ්‍යාය පූජ්‍යපාද උඩුමලගල
ශ්‍රී මහින්ධාභිදාන මහා ස්වාමීන් වහන්සේ පත් වූහ. සිව් වැනි මහානායක හිමියන් ලෙස කටයුතු කළ උඩුමලගල ශ්‍රී මහින්ධාභිධාන මහානායක හිමි
2022 පෙබරවාරි මස අපවත් විය.
උන්වහන්සේගේ අපවත් වීමෙන් පසුව පස්වන උත්තරීතර මහානායක පදවිය සඳහා පත් පත්වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් රම්මල
වරාපිටිය සිත්තම්ගල්ලෙන රජමහා විහාරාධිපති විශ්‍රාමලත් විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත මහෝපාධ්‍යාය පූජ්‍ය අගලබඩ පියසිරි මහා ස්වාමීන්ද්‍රයන්
වහන්සේ 2022 මාර්තු මස 26 වන දින තේරී පත් වූහ. 2026 මැයි 21 දින උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු වැඩ බලන උත්තරීතර මහානායක පදවිය සඳහා ඉලංගංගොඩ පුරාණ රජමහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය ඕමාරේ කස්සප මාහිමිපාණන් වහන්සේ පත් වූහ.

2003 වර්ෂයේ පටන් මාතර බස් නැවතුම්පොළ ඉදිරිපිට ඇති රන් දුපත පොහොය සීමාවේදී උපසම්පදා විනය කර්මය සිදු කරනු ලබයි.
අනුරාධපුර මිහිඳු ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත වනවාස විහාරස්ථාන ශ්‍රී රෝහණ සංඝ සභාව හා එකතු වීමෙන් සංඝ සභාව තවදුරටත් ශක්තිමත්
විය. 1986 වර්ෂයේ ශ්‍රී රෝහණ සංඝ සභාව ආරම්භ කරන විට පැවැති සාමාජික පන්සල් සංඛ්‍යාව 51 කි. එහෙත් 2025 වර්ෂය වන විට සංඝ සභාව
දිස්ත්‍රික්ක 20ක ව්‍යාප්තව පවතී. මේ වන විට සාමාජික විහාරස්ථාන සංඛ්‍යාව 550 ඉක්මවා ඇත.

මහානායක ධූරය

2026 මැයි 21 දින රම්මල වරාපිටිය සිත්තම් ගල්ලෙන රජමහා විහාරාධිපති විශ්‍රාමලත් විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත මහෝපාධ්‍යාය පූජ්‍ය අගලබඩ පියසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීමෙන් පසු වැඩ බලන උත්තරීතර මහානායක පදවිය සඳහා ඉලංගංගොඩ පුරාණ රජමහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය ඕමාරේ කස්සප මාහිමිපාණන් වහන්සේ පත් වූහ. 

නායක පදවි අක්තපත්‍ර පත්‍ර ප්‍රදානය

ශ්‍රී රෝහණ පාර්ශවය වැඩිදුර තොරතුරු  : විකිපීඩියා

Scroll to Top