සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ විධායක කාරක සංඝ සභික හා සහකාර ලේඛකාධිකාරී දහම්පාසල් පිරිවෙන් භික්ෂු විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශයෙහි නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී රෝහණ සංඝ සභා මූලස්ථානය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ගෝණදෙණියේ තපස්සී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.
ගෝණදෙණිය ශ්‍රී මහා විහාරාධිපති ගල්පොත්තයායේ පුඤ්ඤරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් සංසාරගත පුණ්‍යශක්තියට අනුව ගෝණදෙණිය තපස්සී යන උතුම් ශාසනික නාමයෙන් ගෝණදෙණිය ශ්‍රී මහා විහාරස්ථානයේ දී පැවිදි ජීවිතයට ඇතුළත් වීමෙන් අනතුරුව පිරිවෙන් අධ්‍යාපනය සඳහා රෝහණ සංඝ සභා මූලස්ථානයට වැඩම කළා. එහිදී සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ නිර්මාතෘවර මහානායක පුරාවිද්‍යා චක්‍රවර්තී සාහිත්‍යශූරී දර්ශන විශාරද මහෝපාධ්‍යාය මහාචාර්ය කඹුරුපිටියේ වනරතනාභිධාන ශ්‍රීමත් මහානායක මා හිමිපාණන් වහන්සේගේ සෙවණේ, එම සංඝ සභාවෙහි මහා ලේඛකාධිකාරී ධූරය දරමින් වැඩ සිටි ඌරාපොල රතනජෝති විද්‍යායතනන පිරිවෙන් පරිවේණාධිපති අතිගෞරවනීය පොළොම්මාරුවේ හේමසිරි නායක මා හිමිපාණන් වහන්සේ යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා යටතේ ඌරාපොල ශ්‍රී රතනජෝති පිරිවෙනේ අධ්‍යාපනය ලැබුවා. ශ්‍රීමත් මහානායක මා හිමිපාණන් වහන්සේ කෙරෙහි බොහොම ගෞරවයෙන් කටයුතු කළ නිසා කාලයාගේ ඇවෑමෙන් සංසාරගත පුණ්‍යශක්තියට මෙන් ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධාන උපස්ථායක ලෙස ඉතාමත් හොඳීන් එම කාර්යභාරය සිදු කළා. එම කටයුතු ඉතාමත් මැනවින් ඉටුකිරීම නිසා පැහැදීමට පත්වුණ ශ්‍රීමත් මහානායක මා හිමිපාණන් වහන්සේ ගේ හා හේමසිරි මා හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යවරයකු ලෙස උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබුවා. ඒවගේ ම මූලික පිරිවෙන් අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපන දක්වාම ඌරාපොල ශ්‍රී රතනජෝති පරිවේණාස්ථානයෙන් අධ්‍යාපන කටයුතු සිදු කළා. උසස් පෙළ විභාගය සමත් ව රුහුණු විශ්ව විද්‍යාලයෙන් විශේෂවේදී උපාධිය ලබාගෙන විවෘත විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හැදෑරීමට කටයුතු කළා. පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් ,ශාස්ත්‍රපති උපාධියත් පාලි බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් ලබා ගැනීමට කටයුතු කළා.
හේමසිරි නායක මා හිමිපාණන් වහන්සේගෙන් පසුව රෝහණ සංඝ සභා මූලස්ථානයේ විහාරාධිපතිත්වයට පත් වුණා. ඊට ප්‍රථමයෙන් විධායක කාරක සංඝ සභික ධූරයටත්,පසුව විධායක සභාවටත් , සහකාර ලේඛකාධිකාරී ධූරයටත් පත්ව මේ දක්වාම රෝහණ සංඝ සභාවේ සහකාර ලේඛකාරධිකාරී ස්වාමීන් වහන්සේ ලෙස රෝහණ මහා සංඝ සභාවේ සියලු උපසම්පදා විනය කර්මවලට සහභාගිවෙමින් වගකීම් දරමින් ශාසනික සේවයෙහි නියැළෙනවා. 2010 වර්ෂයේ දී අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් ශාඛාවෙහි සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හාමුදුරුවන් වහන්සේ ලෙස වැඩ භාරගෙන නැගෙනහිර පළාත, ඌව පළාත , කළුතර දිස්ත්‍රික්කය, දකුණු පළාත අදී වශයෙන් පළාත් කිහිපයක ම සේවය කිරීමෙන් අනතුරුව වර්තමානය වන විට අධ්‍යාපන අමාත්‍යංශයේ ද්විභාෂා හා සීලමාතා අධ්‍යාපන ආයතන භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේ වශයෙන් කටයුතු කරනවා.