මාතර සිරි රතනජෝති පිරිවෙන් විද්‍යායතනය

දක්ෂිණ ලංකාවේ කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් වූ මාතර ඌරාපොළ සිරි රතනජෝති විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයෙහි ආරම්භය මහනුවර යුගයේ රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමය දක්වා විහිදී යයි. එම වකවානුවේ පහතරට සංඝරාජ ධුරය හෙබවූ කඹුරුපිටියේ සඟිධර ගුණරතන නායක හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යවර කඹුරුපිටියේ මේධංකර හිමිපාණන් වහන්සේගෙන් ආරම්භ වූ පූජා භූමියකි. උන් වහන්සේගේ නමින් මේධංකරාරාමය යනුවෙන් මෙයට සියවස් දෙක තුනකට ප්‍රථම ආරම්භ වූ මේ විහාරස්ථානය ආරම්භයේ කුඩා පන්සල් ගෙයකට හා පිළිම ගෙයකට පමණක් සීමා විය. මේ අවධියේ ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය දැරූ කඹුරුපිටියේ සඟිධර ගුණරතන නායක හිමිපාණන් වහන්සේගේ අපවත් වීම නිසා කඹුරුපිටියේ මේධංකර නායක හිමිපාණන් වහන්සේ ශ්‍රී පාද පුදබිමේ නායක පදවිය භාර ගැනීමත් සමග උන්වහන්සේ ශ්‍රී පාදය බලා වැඩම කිරීම නිසා ඌරාපොළ මේධංකරාරාමය අධිපති තනතුරට පත් වන්නේ අකුරුගොඩ ජෝතිපාල හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය අකුරුගොඩ රතනජෝති නායක හිමිපාණන් වහන්සේය.

අකුරුගොඩ රතනජෝති හිමිපාණන් වහන්සේ මෙම විහාරස්ථානයේ විහාරාධිපති තනතුරට පත්වීමත් සමඟ මේ විහාර භූමිය තුළ විශාල දියුණුවක් ඇති විය. ත්‍රිවිධ චෛත්‍යයන්, ධර්මශාලාව, සංඝාවාසය ආදිය ක්‍රමයෙන් ඉදි වන්නට විය. ආසන්න ප්‍රදේශ තුළ තවත් විහාරස්ථාන කිහිපයක් ද ඉදිකර එම විහාරස්ථානවල කේන්ද්‍රස්ථානය බවට ඌරාපොල විහාර භූමිය පත් කරන ලදී. අකුරුගොඩ බෞද්ධ මිශ්‍ර පාසලක් ඇති කොට එය පරම විඥානාර්ථ බෞද්ධ සමාගමට පැවරූ අතර ඌරපොළ විහාර භූමිය තුළ පිං බෙහෙත් ශාලාවක් ආරම්භ කළහ. එහි වෙද හාමුදුරුවන් ලෙස කටයුතු කළ රතනජෝති හිමිපාණන් වහන්සේ රෝගීන් සුවපත් කිරීමට අමතරව තමා උගත් වෛද්‍ය ශිල්පිය අන් අයට ද බෙදා දීමට කටයුතු කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් දේශීය වෛද්‍යවරු 200ක් පමණ බිහි වූ අතර ඔවුන් නේවාසිකව ප්‍රතිකාර කළ බව ඉතිහාසය සාක්ෂ්‍ය දරයි. මේ දේශීය වෛද්‍යවරු අතරින් කොටපොළ වෙද මහතා මෑතක් වන තුරුම ජීවත් වූ අතර වර්තමානයේ ඔහුගේ දූ දරුවෝ  මේ දේශීය වෙදකම ඉදිරියට ගෙන යමින් සිටිති.

1948 වර්ෂයේ දී අකුරුගොඩ රතනජෝති හිමිපාණන් වහන්සේ අපවත් වන විට ප්‍රදේශය තුළ දරුවන් දස දෙනකු පැවිදි භාවයට පත්කර තිබුණි.

පූජ්‍ය අකුරුගොඩ ඤාණරතන නාහිමි

පූජ්‍ය ඌරාපොල චන්ද්‍රජෝති නාහිමි

පූූජ්‍ය පරදූව පියතිස්ස හිමි

පූජ්‍ය විටියල සරණපාල හිමි

පූජ්‍ය කඹුරුපිටියේ වනරතන නාහිමි

පූජ්‍ය ඌරාපොළ හේමාලෝක හිමි

පූූජ්‍ය පොළොම්මාරුවේ හේමසිරි හිමි

ආදි වශයෙන් පසුකාලීනව චිර ප්‍රසිද්ධ වූ ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් බිහි වූයේ උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙනි. උන්වහන්සේගෙන් අනතුරුව ඌරාපොළ විහාරස්ථානයේ නායක පදවිය සඳහා ඌරාපොළ චන්ද්‍රජෝති නායක හිමිපාණන් වහන්සේ විසින් උසුලන ලදී. මෙවකට සපුගොඩ විද්‍යානිකේතන පිරිවෙනෙහි පරිවේණාධිපති හිමි ලෙස කටයුතු කළ කඹුරුපිටියේ වනරතන හිමිපාණන් වහන්සේ ඌරාපොළ මේධාරංකාරාමයට වැඩම කොට 1950 මැයි මස 12 වෙනි දින පිරිවෙන් ආයතනයක් ආරම්භ කර තම ගුරුදේව අකුරුගොඩ රතනජෝති නායක හිමිට ගරු කිරීමක් වශයෙන් මාර/සිරි රතනජෝති පිරිවෙන නමින් නම් කළහ. 1951 වර්ෂයේ ලියාපදිංචි පිරිවෙනක් බවට පත් වූ රතනජෝති පිරිවෙන භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් විය.

කඹුරුපිටියේ වනරතන මහා නාහිමිපාණන් වහන්සේගේ ධුර කාලය තුළ ප්‍රදේශයේ දූ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දීම සඳහා සිරි රතනජෝති දහම් පාසලත්, පූර්ව ළමා අවධිය සංවර්ධනය ආයතනයක් ලෙස රතනජෝති පෙර පාසලත් ආරම්භ කළ අතර දූ දරුවන්ගේ කලා කටයුතු ඔප්නැංවීම උදෙසා රුවන්දෝ කලා ආයතනයක් මෙම ආයතනය තුළ ස්ථාපනය කරන ලදී. දිනෙන් දින දියුණුවන රතනජෝති පිරිවෙනෙහි ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වීම හේතු  කොට ගෙන නව පිරිවෙන් ශාලාවක් ඉදි කරවා එය 1967 සැප්තැම්බර් මස 7 දින එවකට අග්‍රාණ්ඩුකාර ධුරය දැරූ ශ්‍රීමත් විලියම් ගොපල්ලව මැතිතුමා අතින් විවෘත කරවීමට කටයුතු කළහ.

මහනුවරට පමණක් සීමා වී තිබූ උපසම්පදා විනය කර්මය රුහුණු ප්‍රදේශයට රැගෙන ඒමට මහත් කැපවීමකින් කටයුතු කළ මහාචාර්ය අතිපූජ්‍ය කඹුරුපිටියේ වනරතන නායක හිමිපාණන් වහන්සේ 1985 වර්ෂයේ දී  සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාව පිහිටුවා උපසම්පදා විනය කර්මය ඌරාපොල විහාරස්ථානය වෙතට ගෙන ඒමට කටයුතු කළහ. ශ්‍රී රෝහණ සංඝ සභාවේ මහානායක ධුරය දරමින් සිරි රතනජෝති පුදබිම ඓතිහාසික පුදබිමක් බවට පත් කළහ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ධුරය හොබවමින් ද, පනාකඩුවේ තඹ සන්නස කියවා තේරුම් කර දීමෙන් ද ලෝකප්‍රසිද්ධ කීර්තියට පත්වූ ශ්‍රී රෝහණ සංඝ සභාවේ ප්‍රථම මහානායක පුරාවිද්‍යා චක්‍රවර්ති දර්ශන විශාරද සාහිත්‍ය සූරී මහාචාර්ය කඹුරුපිටියේ වනරතනාභිදාන මහානායක හිමිපාණන් වහන්සේ සිරි රතනජෝති විහාරස්ථානයේ කීර්තිමත් ම යතිවරයන් වහන්සේ වූහ. පුරා වසර 75ක් ආගමික හා සමාජීය සේවාවන් රැසක් ඉටු කළ කඹුරුපිටියේ වනරතන නායක හිමිපාණන් වහන්සේ 1998 නොවැම්බර් මස 18 වන දින අපවත් වූහ.

කඹුරුපිටියේ වනරතන නායක හිමිපාණන් වහන්සේ වැඩසිටි කාලය තුළ දී ම මෙහි විහාරාධිපති ලෙස කටයුතු කරනු ලැබුවේ, ශාස්ත්‍රපති පොළොම්මාරුවේ හේමසිරි පණ්ඩිත හිමිපාණන් වහන්සේය. වනරතන නායක හිමිපාණන් වහන්සේගේ අපවත් වීමත් සමගින් සියලු වගකීම් පැවරුණේ පොළොම්මාරුවේ හේමසිරි පණ්ඩිත හිමිපාණන් වහන්සේ වෙතය. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙතෙක් කනිෂ්ඨ පිරිවෙනක්ව පැවති රතනජෝති පිරිවෙන 1964 වර්ෂයේ දී ජ්‍යේෂ්ඨ පිරිවෙනක් දක්වා ද, 1980 වර්ෂයේ ඉදිරිපත් වූ නව පිරිවෙන් අධ්‍යාපන පනතින් මහ පිරිවෙනක් දක්වා ද, 1997 වර්ෂයේ දී පිරිවෙන් විද්‍යායතනයක්  දක්වා ද උසස් තත්ත්වයට පත් විය. උජුපටිපණ්ණ ගුණයෙන් සෘජුව කටයුතු කළ හේමසිරි පණ්ඩිත හිමිපාණන් වහන්සේ රතනජෝති පිරිවෙන් විද්‍යායතනයෙහි මෙන් ම විහාරස්ථානයේ දියුණුව උදෙසා සිය ධනය, ශ්‍රමය, කාලය නිරන්තරයෙන් ම කැප කළහ. 2001 වර්ෂයේ දී රෝගාතුර වන හේමසිරි පණ්ඩිත ස්වාමීන් වහන්සේ 2008 සැප්තැම්බර් මස 22 වෙනි දින අපවත් වූහ. 

හේමසිරි පණ්ඩිත ස්වාමීන්වහන්සේගේ අපවත් වීමෙන් පසු රතනජෝති පිරිවෙන් විද්‍යාස්ථානයෙහි අධිපති ධුරයට පත් වූයේ උන්වහන්සේගේ ශිෂ්‍යවර ශාස්ත්‍රපති ගෝණදෙණියේ තපස්සි හිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේගේ අධිපතිත්වය යටතේ මෙහි අතිමහත් දියුණුවක් දක්නට ලැබේ.

වර්තමාන දියුණුවට උරදෙමින් වනරතන පිරිවෙන් දෙමහල් ගොඩනැගිල්ල ආසන්න ප්‍රදේශයක නොදකින තරම් උසස් වේදිකාවක් සමඟ නිම කරවා ගැනීමටත්, තුන්මහල් ශිෂ්‍ය නේවාසිකාගාරයක් තනවා ගැනීමටත්, පැරණි ශිෂ්‍ය නේවාසිකාගාරය වෙනුවට එම ස්ථානයේ තවත් භික්ෂු නේවාසිකාගාරයක් ඉදිකරවා ගැනීමට රාජ්‍ය අනුග්‍රහය ද, ලබා ගැනීම උන්වහන්සේගේ සේවාවේ කැපී පෙනෙන ලක්ෂණයි. වර්තමානය වන විට මූලික පිරිවෙනත් විද්‍යායතන පිරිවෙනත් අධ්‍යාපනය මෙන් ම විෂය බාහිර කටයුතු ද සමබරව කර ගෙන යනු ලබන්නේ උන්වහන්සේගේ මහත් කැපවීමෙනි. රතනජෝති පිරිවෙන් විද්‍යායතනය ආරම්භයේ සිට මේ දක්වා පරිවේණාධිපතීන් වහන්සේලාගේත් ආචාර්ය මණ්ඩලයෙත් කැපවීම උන්වහන්සේගේ අභිමාතාර්ථ සාධනයට සමගාමීව සිදු වන අතර ආරම්භයේ සිට මේ දක්වා විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශ්‍රී ලංකා පරිපාලන සේවය, නීතිඥ සේවය, විශ්වවිද්‍යාල ආචාර්ය, විදුහල්පති සේවය, ගුරු සේවය හා ව්‍යාපාර ආදි විවිධ රාජ්‍ය හා පෞද්ගලික ක්ෂේත්‍රයන්හි ඉහළ තනතුරු දරමින් ආයතනයට ගෞරවයක් එක් කරයි.  විශේෂයෙන් දෙස් විදෙස් ධර්ම ප්‍රචාරයෙහි නිරත වෙන භික්ෂූන් වහන්සේලා බොහෝ පිරිසක් මේ ආයතනයෙන් බිහි වීම සිහිපත් කළ යුතුය.

පිරිවෙන් භූමියට සපැමිණි ගෞරවනීය ප්‍රභූවරු

1967 – ශ්‍රීමත් විලියම් ගොපල්ලව ආණ්ඩුකාරතුමා

1968 – සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරිය

1969 – ලුමුම්බා විශ්ව විද්‍යාලයේ උපකුලපති තුමා

1970 – මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමා

1970 – මහාචාර්ය සෙනෙරත් පරණවිතාන මැතිතුමා

1991 – රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා

1997 – අධ්‍යාපන අමාත්‍ය ගරු රිචඩ්පතිරණ මැතිතුමා

1998 – චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය

1998 – රත්නසිරි වික්‍රමනායක අග්‍රමාත්‍යතුමා

2006 – මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා

2013 – මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා

ආයතනාධිපතිත්වය

  1. ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ ප්‍රථම මහා නායක පුරාවිද්‍යා චක්‍රවර්ති, සාහිත්‍යසූරී, මහෝපාධ්‍යාය, දර්ශන විශාරද, මහාචාර්ය අතිපූජ්‍ය කඹුරුපිටියේ වනරතන මහ නාහිමි – (1950)
  2. ශාස්ත්‍රපති පූජ්‍ය පොළොම්මාරුවේ හේමසිරි නාහිමි – (1998)
  3. ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්), සිරි රතනජෝති පිරිවෙන් විහාරස්ථ ශ්‍රී රෝහණ සංඝ සභා මුලස්ථානාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය ගෝණදෙණියේ තපස්සි නාහිමි – (2008 සිට වර්තමානය දක්වා)

රතනජෝති  පිරිවෙන් විද්‍යායතනයෙහි ආරම්භක කෘත්‍යාධිකාරී මණ්ඩලය

  1. මහාචාර්ය අතිපූජ්‍ය කඹුරුපිටියේ වනරතන මහ නාහිමි
  2. රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පුජ්‍ය පොළොම්මාරුවේ හේමසිරි නාහිමි
  3. ශාස්ත්‍රවේදී පූජ්‍ය බඹරැන්දේ නන්ද හිමි
  4. ශාස්ත්‍රපති පූජ්‍ය ගෝණදෙණියේ තපස්සි හිමි
  5. රාජකීය පණ්ඩිත ගොම්බද්දල නන්දාරාම මහ නාහිමි
  6. අරඹේගොඩ පබ්බතාරාම විහාරාධිපති පූජ්‍ය අතුරලියේ ඉන්දජෝති හිමි (වර්තමානයේ)

ආරම්භයේ සිට වර්තමානය දක්වා පරිවෙණාධිපති හිමිවරු

  1. ස්‍යාමෝපාලි වංශික මහානිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ ප්‍රථම මහානායක පුරාවිද්‍යා චක්‍රවර්ති, සාහිත්‍යසූරී, මහෝපාධ්‍යාය, දර්ශන විශාරද, මහාචාර්ය අතිපුජ්‍ය කඹුරුපිටියේ වනරතන මහනාහිමි (1950-1985)
  2. රාජකීය පණ්ඩිත පූජ්‍ය පරවාහැර සෝභිත නාහිමි (1985-1990)
  3. විශ්‍රාමලත් විදුහල්පති, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පුජ්‍ය පොළොම්මාරුවේ හේමසිරි නාහිමි (1990-2001)
  4. ශාස්ත්‍රපති පුජ්‍ය කුඩා බිබුලේ වන්දසිරි හිමි (2001-2005)
  5. ශාස්ත්‍රපති පූජ්‍ය ගෝණ දෙණියේ තපස්සි හිමි (2005-2010)
  6. ශාස්ත්‍රවේදී පූජ්‍ය බඹරැන්දේ නන්ද හිමි (2010-2018)
  7. ශාස්ත්‍ර වේදී පූජ්‍ය පරපාමුල්ලේ සමිත හිමි (2018-2020)
  8. ශාස්ත්‍රවේදී පූජ්‍ය පරපාමුල්ලේ ඥාණ සිරි හිමි (2020-2022)
  9. ශාස්ත්‍රවේදි පුජ්‍ය කරපුටුගල සුමනවංස හිමි (2022 සිට වර්තමානය දක්වා)

රතනජෝති පිරිවෙන් විද්‍යායතනයේ ආරම්භක ආචාර්ය මණ්ඩලය

  1. රාජකීය පණ්ඩිත බෙලිගල්ලේ මහින්ද නාහිමි
  2. රාජකීය පණ්ඩිත ගොම්බද්දල නන්දාරාම මහ නාහිමි
  3. රාජකීය පණ්ඩිත පරවාහැර සෝභිත නාහිමි
  4. රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය පොළොම්මාරුවේ හේමසිරි නාහිමි
  5.  රාජකීය පණ්ඩිත ගලගම චන්දානන්ද නාහිමි
  6. ශාස්ත්‍රපති පණ්ඩිත කරුණානායක මයා (මහා නාහිමිගේ සහෝදර )
  7. නිමල් ජේ. ගමගේ මහතා

 

ආරම්භක ශිෂ්‍යයා

රතනජෝති විද්‍යායතන පිරිවෙනෙහි ආරම්භක ශිෂ්‍යයා වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දිම වික්‍රමගමගේ මැතිතුමා

රතනජෝති විද්‍යායතන පිරිවෙණෙහි වර්තමාන පරිපාලනය

දැක්ම

නැණ නුවණින් හෙබි යහපත් ගුණගරුක සඟ රුවනක් සමඟින් විනය ගරුක පුරවැසියෙක් රටට දායාද කිරීමයි.

මෙහෙවර

ජාතික අධ්‍යාපන අරමුණු මත හඳුනා ගත් දක්ෂතා සමඟ නිපුණතා සංවර්ධනය කර නිර්මාණශීලී ගුණ ගරුක මානව දයාවෙන් පිරිපුන් පරිසර හිතකාමී ශාසනාභිවෘද්ධි පුරවැසියෙකු සමඟ සඟරුවනක් බිහි කිරීම.

අධිපතිත්වය – අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) ශ්‍රී රෝහණ පාර්ශ්වයේ විධායක කාරක සංඝ සභික නියෝජ්‍ය ලේඛකාධිකාරී, ශාස්ත්‍රපති පූජ්‍ය ගෝණදෙණියේ තපස්සි හිමි

කෘත්‍යාධිකාරී හිමි – රතනජෝති පිරිවෙන් විද්‍යායතනයේ කෘත්‍යාධිකාරී, කඹුරුපිටිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු සභාපති, ශ්‍රී රෝහණ පාර්ශ්වයේ විධායක කාරක සංඝ සභික, අරඹේගොඩ පබ්බතාරාම විහාරාධිපති පුජ්‍ය අතුරලියේ ඉන්දජෝති හිමි

පරිවෙණාධිපති – ශාස්ත්‍රවේදී පුජ්‍ය කරපුටුගල සුමනවංශ හිමි

රතනජෝති පිරිවෙන් විද්‍යායතනයේ වර්තමාන – ආචාර්ය මණ්ඩලය

  1. ශාස්ත්‍රවේදී පුජ්‍ය පරපාමුල්ලේ ඥානසිරි හිමි
  2. ශාස්ත්‍රවේදී බඹරවානේ විමලධම්ම හිමි
  3. ශාන්ත මනතුංග මයා
  4. කේ. එච්. ආර්. ද සිල්වා මයා
  5. ඩබ්. එම්. ඒ. එන්. බණ්ඩාර මයා
  6. ටී. ජී. චමල් සුජීව තිලකරත්න මයා
  7. දුමින්ද නල්ලපෙරුම මයා
  8. කේ. ඒ. තුෂාර ඉන්දික මයා
  9. ඒ. පි. අශෝක ජයරත්න මයා
  10. සී. එස්. වික්‍රම ආරච්චි මයා
  11. ජී. ඒ. තරංග දයාමල් මයා
  12. බුද්ධික සඳරුවන් වීරරත්න මයා
  13. ඒ. කේ. චාමර උදයංග මයා
  14. ආර්. එස්. පී. කුමාර මයා
  15. ඒ. අනුරුද්ධ චාමර මයා
  16. ආර්. ඒ. මාධව දිල්ෂාන් මයා
  17. ජී. වයි. දමිත් නිලංග මයා
  18. අයි. බී. මලින්ද සඳරුවන් මයා
  19. ඩබ්. ඩී. රජිත් සංජීව මයා
  20. කේ.එම්. සමරවික්‍රම මයා

සංවර්ධන නිලධාරී

වී. ජී. චතුර බුද්ධික මයා

බහුකාර්ය නිලධාරීන්

          එම්. ඩී. ගයාන් බුද්ධික

          එන්. ඩී. ජී. ඉෂාන් ධනුෂ්ක

                

ආයතනය තුළින් සිදුවන පොදු සේවය

  • පුස්තකාල සේවාව
  • සුහුරු පන්තිකාමර
  • රතනජෝති දහම්පාසල
  • රතනජෝති පෙරපාසල
  • රුවන්දෝ කලායතනය
  • පුජා භූමියක් ලෙස

වනරතන මුලික පිරිවෙණෙහි ආරම්භක කෘත්‍යධිකාර මණ්ඩලය 

  1. ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ මහ නායක රාජකීය පණ්ඩිත ශ්‍රීමත් ගොම්බද්දල නන්දාරාම මහ නාහිමි (2005-2007)
  2. ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ උපාධ්‍යාය ධුරන්ධර ගෝණදෙණිය ශ්‍රී මහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය ගල්පොත්තයායේ පුඤ්ඤරතන නාහිමි (2007 – 2024 දක්වා)
  3. ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ විධායක කාරක සභික විශ්‍රාමික විදුහල්පති ශාස්ත්‍රපති පූජ්‍ය බෙංගමුවේ විමල නාහිමි (2024 සිට වර්තමානය දක්වා)

වනරතන මූලික පිරිවෙණෙහි ආරම්භයේ සිට වර්තමානය දක්වා පරිවෙණාධිපති හිමිවරු

පුජ්‍ය පල්ලාවෙල ධම්මික හිමි (2005-2007)

ශාස්ත්‍රපති පූජ්‍ය විටියල ඉන්දරතන හිමි (2007-2020)

පුජ්‍ය විටියල මහින්ද හිමි (2020 සිට වර්තමානය දක්වා)

වනරතන මුලික පිරිවෙණෙහි ආරම්භක ආචාර්ය මණ්ඩලය

  • ශාස්ත්‍රපති පුජ්‍ය රන්සෑගොඩ සිරිසීවලී හිමි
  • ශාස්ත්‍රපති පූජ්‍ය විටියල ඉන්දරතන හිමි
  • පුජ්‍ය දෙනගම ශාසනරතන හිමි
  • එස්. ඩබ්. බංගමුවගේ මයා
  • කේ. ජී. දසන්ත මයා

වනරතන මූලික පිරිවෙණෙහි වර්තමාන ආචාර්ය මණ්ඩලය

  1. පූජ්‍ය කුඩාඔය නන්ද හිමි
  2. කේ. ජී. දසන්ත මයා
  3. එස්. හේවාපතිරණ මයා
  4. ආර්. ඉන්දික මයා
  5. ජේ. කේ. සේනක පුෂ්පකුමාර මයා
  6. එච්. ඒ. ටී. එස්. ජයන්ත මයා

බහුකාර්ය නිලධාරීන්

ටී. එස්. රාජපක්ෂ

Scroll to Top