ශාස්ත්‍රපති පූජ්‍ය පොළොම්මාරුවේ හේමසිරි නාහිමි

ඌරාපොල සිරි රතනජෝති පිරිවෙන් විහාරාධිපති ධූරය මෙන්ම ශ්‍රී රෝහණ සංඝ සභාවේ සංවිධායක ධුරය මෙන්ම ප්‍රධාන ලේඛකාධිකාරී ධුරය වැනි වගකිව යුතු තනතුරු රැසක බර එක හිසක් මත තබාගෙන පරිගණකයක් මෙන් ක්‍රියාකාරීව සිටි ශාස්ත්‍රපති ගරු පොළොම්මාරුවේ හිමියන් ද අප අතරින් වෙන් වී කලක් ගතව ඇත. අපවත් වී වදාළ මහා නාහිමි පාණන් වහන්සේ සක් දෙව් රජු මෙන් සිතතොත් හේම සිරි හිමියන් විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයාය. මහ නා හිමිපාණන්ගේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට හේමසිරි හිමියන්ගේ සේවාව එතරම්ම ප්‍රයෝජනවත් විය.

වීරයින්ගේ ජන්ම භූමියක් වන රුහුණු මාගම් පත්තුවේ තංගල්ල අසල පිහිටි පොළොම්මාරුව නම් ගමේ පදිංචිව සිටි තංගල්ල උසාවියේ ලියන ආරච්චි ධූරය දැරූ රූබන් හෙන්රි අබේසිංහ රත්නායක රාළහාමි මුන් වහන්සේගේ පියාණෝ වුහ. මව් තනතුර හෙබ වූ වාසනාවන්තිය නම් දොන ප්‍රැන්සිනා සමරසිංහ මාතාව වුවාය. එතුමිය වූ කලී එවකට ඌරාපොළ සිරි මේධංකරාරාමාධිපති ධූරය දැරූ අකුරුගොඩ රතනජෝති හිමිපාණන්ගේ අයියාගේ දියණියයි.

1932 අප්‍රේල් 24 දින උපත ලැබූ රත්නායක කුමරාගේ වයස අවුරුදු 8 වුවා පමණි. අකුරුගොඩ රතනජෝති හිමිපාණෝ තම මුණුබුරා මහණ කිරීමට ඉල්ලා සිටියහ. දෙමව්පියන්ගේ කැමැත්ත ඉහළින්ම පළ වූ නිසා වයස අවුරුදු 10 වන විට 1942 වසරේදී පොළොම්මාරුවේ හේමසිරි නමින් ඇතුළත් කරන ලදී. 1945 වන විට වන තරන නාහිමිපාණෝ සපුගොඩ විද්‍යානිකේත පරිවෙණාධිපති ධුරයට පත්ව සිටියහ. හේම සිරි සාමණේරයන් වහන්සේ ද මූලික අධ්‍යාපනය සඳහා විද්‍යානිකේතයට ඇතුළු වූහ.

විද්‍යානිකේතයෙන් මූලික අධ්‍යානය ලබා වැඩිදුර ඉගෙනීම සඳහා කොළඹ මාළිගාකන්දේ විද්‍යොදය පිරිවෙණට ඇතුළත් වූහ. අද මෙන් උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමේ ක්‍රමයක් එදා නොතිබිණි. එදා භික්ෂුවකට ලබා ගත හැකි වුයේ පිරිවෙන් අවසානය හෝ පණ්ඩිත උපාධිය පමණි. හේමසිරි හිමියන් විද්‍යෝදය පිරිවෙනේ ඉගෙනීම ලබන අතරේදී, 1952 දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලදී. උන් වහන්සේ උපසම්පදා වන විට අකුරුගොඩ රතනජෝති හිමියන් අපවත් වී සිටියද උන් වහන්සේගේ නමින් හා එවකට විහාරාධිපතිව සිටි ඌරාපොළ චන්ද්‍රජෝති හිමියන්ගේ හා රාජකීය පණ්ඩිත කඹුරුපිටියේ වනරතන නාහිමිපාණන්ගේ නමින්ද උපසම්පදා කරන ලදී.

හේම සිරි හිමියෝ විද්‍යෝදය අවසන් කරන විට විදෙදය, විද්‍යාලංකාර පිරිවෙන් දෙක විශ්ව විද්‍යාලය තත්වයට උසස් කරනු ලැබීය. එහිදී හේමසිරි හිමියන් විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුළත් වී බී. ඒ. උපාධිය ද ලබාගෙන ඇත.

ඉන්පසු ත්‍රිපිටකාචාර්ය උපාධිය ද ලබාගෙන 1962 වන විට පාසල ගුරු පත්වීමක්ද ලබා ගෙන ඌරාපොලට වැඩම කළහ. යටියන ආදි පාසල් කීපයක සේවය කර නාරන්දෙණියේ විදුහල්පති ලෙස බොහෝ කලක් සේවය කර විශ්‍රාම ලැබූහ. ඌරපොල පිරිවෙණට අවශ්‍ය ගොඩනැගිලි තැනීමේ විශ්මිත ක්‍රියාව ඇරඹුනේද මේ කාලයේදීය.

1950 දී සිරි රතනජෝති පිරිවෙණ ආරම්භ වුවද අවශ්‍ය ගොඩනැගිලි සම්පූර්ණ වී නොතිබිණි. එහි පැවතියේ පැරණි ධර්ම ශාලාවක් පැරණි පන්සල් ගොඩනැගිලි දෙකක් පමණි. ඒ නිසා රතනජෝති පිරිවෙණට අවශ්‍ය ගොඩනැගිලි තැනවීමේ ගෞරවය හිමිවන්නේ හේමසිරි හිමියන්ටය.

පිරිවෙන් ශාලාව, පුස්තකාලය, පෝය ගෙය සංඝාවාසය, ශිෂ්‍ය නිවාස ආදී මේ සියල්ලක්ම තනා නිම කරන ලද්දේ අවුරුදු 5 ක් අතරතුරදීය. කිසිම සම්මාදමක් නොකර මේ නිසා වියදමක් කළේ කෙසේද? යන්න නොවිසඳුණු ප්‍රශ්නයකි.

පන්සලේ වැඩ කටයුතු මෙසේ අවසන් කළත් උන් වහන්සේ ශාස්ත්‍ර පිපාසය සින්සිදී නොතිබුණි. 1973 දී එංගලන්තයේ ගිය හේමසිරි හිමියෝ ඩිප්ලෝමා විභාගයකින් ද සමත් වී යුරෝපා සංචාරයක්ද යෙදුනාහ. පුරා විද්‍යා පර්යේෂණ සඳහා පාකිස්ථානය, හරප්පා, මොහන්දජාරෝ ආදී තැන් වලට ගොස් පර්යේෂණ පත්වා සිය ගුරු දේවයන් අනුව යමින් 1985 දී පුරා විද්‍යාව පිළිබඳ එම්. ඒ. උපාධිය ද දිනා ගත්හ. ඉන්පසු ඌරාපොළ සිරි රතනජෝත් පිරිවෙනේ පරිවෙණාධිපති ධූරයේ කටයුතු කිරීම ආරම්භ කළහ.

ශ්‍රී රෝහණ සංඝ සභාව පිහිටුවීම පිළිබඳව ක්‍රියා කිරීම ආරම්භ කරන ලද්දේ 1985 දීය. ඒ ගැන මුලික සාකච්ඡා පවත්වන ලද්දේ ඊට බොහෝ කලකට පෙර සිටය. 1985 දී සිදු වූයේ එම අදහස පුපුරා යාමකි. ශ්‍රී රෝහණ සංඝ සභාව පිහිටු වීමේදී හේම සිරි හිමියන් නොසිටියා නම් එහි යටිතල පහසුකම් නිසි ලෙස සකස් වීමක් කිසි විටෙකත් සිදු නොවේ. ප්‍රථම උපසම්පදාවේ සිට ඌරපොල දී පැවැත්වූ සෑම උපසම්පදාවකදීම එම වැඩ කටයුතු සැලසුම් සහගතට හා ඉතා සාර්ථකව සිදු කරන ලද්දේ හේමසිරි හිමියන් විසිනි. තවද සිරි රතනජෝති පිරිවෙනේ ආනගතය හොඳින් පවත්වා ගෙන ගිය හැකි ශිෂ්‍ය පිරිසක් ද අ කර පිරිවෙණට ගැළපෙන ගුරු පිරිසක් ද සකස් කර තැබූහ.

 
Scroll to Top