ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ ප්‍රථම මහා නායක පුරාවිද්‍යා චක්‍රවර්ති, සාහිත්‍යසූරී, මහෝපාධ්‍යාය, දර්ශන විශාරද, මහාචාර්ය අතිපූජ්‍ය කඹුරුපිටියේ වනරතන මහ නාහිමි

ඈත අතීතයේ සිටම දකුණු සිරිලක මාතර ප්‍රදේශය ශ්‍රේෂ්ඨ පඬිවරුන්, රණකාමීන්, සමාජ සේවකයන් ආදී ශ්‍රේෂ්ඨ උතුමන්ගේ ජන්ම භූමියක් විය. මාතරට නුදුරු කඹුරුපිටිය නමැති ග්‍රාමවරය ඒ අතින් ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට නෑකම් පෙන්වයි.

කඹුරුපිටියේ මගමුරේ ගම්පති ඩී. එච්. කරුණානායක රාළහාමිට දාව දෝන සිසිලියානා සෙනෙවිරත්න මැතිණිය කුසින් 1911 නොවැම්බර් මස 27 වැනි දින ජනිත වූ වාසනාබර, පින්බර කුමරෙක් ද ඒ අමරණිය ඉතිහාසයෙහි රන් අකුරෙන් ලියැවී ඇත. කඹුරුපිටියේ නාරන්දෙනියේ මහ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ මේ හුරුබුහුටි ළදරුවා පුරා සත් මසක් පැවිදි බිමට අවශ්‍ය වතාවත් චාරිත්‍රාදිය ද, බණ දහම්ද, ශතක පොත් කියවීම හා පුස්කොළ ජාතක පොත ලයාන්විතව කීම ද පුරුදු පුහුණු ලැබ 1924 සැප්තැම්බර් මස 10 වන දිනට යෙදුන පුර පසළොස්වක පෝය දින ඌරාපොල පුරාණ විහාරාධිපති ගෞරවාර්භ අකුරුගොඩ ශ්‍රී රතනජෝති මහා ස්ථවිරපාදයාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් කඹුරුපිටියේ විලේගොඩ පුරාණ විහාරස්ථානයේදී කඹුරුපිටියේ වනරතන නමින් පැවිදි බීමට පත්විය.

1927 පෙබරවාරි මස 14 දින මාතර කිතුලේ වෙල ජයමහා විහාර පිරිවෙණට ඇතුළත් වූ මේ කඹුරුපිටියේ වනරතන සාමණේර නම 1931 වර්ෂයෙහි මල්වතු මහා විහාර උපෝසථාගාරයේදී උපසම්පදා ශීලයට පත්විය. පිරිවෙණෙහි ආචාර්ය, උපාධ්‍යාදීන්ගේ ඉමහත් ප්‍රසාදයට ලක්වෙමින් ප්‍රාචීන ප්‍රාරම්භ සහ මධ්‍යම විභාග සමත් වෙමින් ධර්ම ශාස්ත්‍රෝ ග්‍රහණය කළ වනරතන හිමිපාණෝ 1936 කිතුලේ වෙල ජයමහා විහාර පිරුවන්හි උපාචාර්ය ධූරයකටද පත්වූහ.

1940 දී පමණ සම්මත වූ නව නීතියක් අනුව පණ්ඩිත විභාගයට එක් වරකට ගත හැකිවූයේ එක් භාෂාවක් පමණි. ඒ භාෂාවෙන් පණ්ඩිතොපාධිය ලැබේ. වනරතන නා හිමියන් පාළි, සිංහල, සංස්කෘත යන භාෂාත්‍රයට වෙන වෙනම පෙණි සිට විශේෂ පණ්ඩිතොපාධියක් ලැබ ගත්හ. මේ අතර 1940 දී කොළඹ ආනන්ද විද්‍යාලයානුබද්ධ ඕල්කට් විද්‍යාලයට ඇතුළත්ව ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබ 1945 වර්ෂයේ දී සපුගොඩ විද්‍යානිකෙත පරිවෙණාධිපතිත්වය ලැබ අනතුරුව 1975 වර්ෂයෙහි ස්වකීය ආචාර්යයන් වහන්සේගේ අපවත් වීම නිසා සිය අරමට වැඩම කළ වනරතන හිමිපාණෝ ආචාර්යයන් වහන්සේගේ නාමානුස්මරණයෙන් සිරි රතනජෝති පිරිවෙණ ආරම්භ කරන ලද්දේ 1950 මැයි මාසයේදීය.

විදුදය සරසවියට ඇතුළත් වීමෙන් පසු 1963 දී පුරාවිද්‍යා ශාස්ත්‍රපති (M.A.) විභාගයෙන් සමත් වූ උන්වහන්සේ පූජ්‍ය පොළොම්මාරුවේ හේමසිරි හිමිපාණන් සිය අරමට වැඩම කිරීමෙන් පසු විහාරාධිපතීත්වය හා කාර්ය භාරත්වය උන් වහන්සේට පැවරීමෙන් පණ්ඩිතවනරතන හිමිපාණෝ විද්‍යොදය විශ්ව විද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයෙකු වශයෙන් ස්ථිර පත්වීමක් ලැබූහ.

 

උන් වහන්සේ ලංකාවේ එකම පුරාවිද්‍යා ශාස්ත්‍රපති (M.A.) උපාධිධාරියා වශයෙන් සම්මානනීයත්වයට පත් වූයේ 1966 වර්ෂයේය. ඒ සඳහා ලියූ ‘ පොළොන්නරු නිර්මාණ ශිල්ප ” නැමැති පර්යේෂණාත්මක ග්‍රන්ථය පුරාවිද්‍යාත්මක අතින් හා ඓතිහාසික වශයෙන් ඉතා වැදගත්ය. එම වර්ෂයේම දෙවෙනි ශ්‍රේණියේ කථිකාචාර්ය වරයෙකු වූ උන් වහන්සේ පසුව පුරාවිද්‍යා අංශය භාර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා වූහ.

1966 වර්ෂයෙහි උන්වහන්සේ විද්‍යොදය විශ්ව විද්‍යාලයෙහි ගෞරව ශාස්ත්‍ර වේදී ඉතිහාස හා පුරාවිද්‍යා ශිෂ්‍ය පිරිසක් සමග ඉන්දියාවට වැඩම කොට පර්යේෂණාත්මක කටයුතු වල යෙදුණු අතර බුරුමය, පීනං, මලයා, සිංගප්පූරුව, හොංකොං, ජපන් ආදී රටවල සංචාරයක යෙදීමෙන් පෙරදිග ඉතිහාසය හා සංස්කෘතිය ගැනත් පුරාවිද්‍යාත්මක තොරතුරු ගැනත් පෘථුල දැනුමක් ලබා ගත්හ.

1970 සැප්තැම්බර් 27 දින වනරතන හිමිපාණෝ ලන්ඩන් විශ්ව විද්‍යාලයට වැඩම කොට ආචාර්ය උපාධිය සඳහා උසස් පර්යේෂණයන්හි නිරත වූහ. මේ ගමනේදී මහා බ්‍රිතාන්‍යයට අයත් ස්කොට්ලන්තයේ වේල්සයේ සහ යුරෝපීය රටවල් වන බෙල් ල්ජියම, ප්‍රංශය, ඕලන්දය, නැගෙනහිර ජර්මනිය, බටහිර ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රියාව, ඉතාලිය, ග්‍රීසිය ආදී රටවල සංචාරයෙහි යෙදීමෙන් අපරදිග රටවල ඓතිහාසික හා වර්තමාන තත්වය පිළිබඳ පෘථුල අවබෝධයක් ලබා ගත්හ.

1983 හය වැනි වරට ද යුනෙස්කෝ ආධාරයෙන් තායිලන්තයේ පුරා විද්‍යාත්මක ව්‍යාපෘති ගැන පර්යේෂණයකට ගොස් එය අවසන් කර පිතං, ක්වාලාම්පූර්, සිංගප්පුර් වෙතද ගොස් ඉන්දුනීසියාවේ ජාවා හි ” බොරෝ බුදුර් ” නැමැති ලොව අටවන පුදුමය ලෙස ගැනිය හැකි මහා විහාරය දක්නට ගොස් මධ්‍යම ජාවාහි ඇති පැරණි බෞද්ධ සිද්ධස්ථාන ද පර්යේෂණයට ළත් කළහ. මෙහිදී ජාවාහි ඇති පෙර කළ සිංහල භික්ෂුන් සඳහා කර වූ අභයගිරිය ද දැක ගත්හ.

1986 දී මල්වතු මහා විහාරයෙන් වෙන්ව වෙනම උපසම්පදා පුණ්‍ය කර්මය කිරීමට ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවය ආරම්භ කරමින් එහි මහානායක ධූරයට උන්වහන්සේ පත් වූහ.

1991 න් පසුව දෙනෙත් අහිමි වුවද අප නායක මාහිමිපාණන් වහන්සේ නිමල් ජේ ගමගේ මහතාගේ සහාය ඇතිව රුහුණේ අත්ලිපි කෘතිය සම්පාදනය කළහ. එම කෘතිය 2006 වර්ෂයේ උන් වහන්සේගේ 07 වන ගුණ සමරුවට සාපේක්ෂව සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මගින් මුද්‍රණය කෙරිණි.

මහාචාර්ය අතිපූජ්‍ය කඹුරුපිටියේ වනරතන මහ නාහිමියන් විසින් රචිත ග්‍රන්ථ

* මාතර මානව වංශය හා පුරාවිද්‍යාත්මක ඉතිහාසය

* අනුරපුර නටබුන්

* පොළොන්නරු නටබුන්

*පොළොන්නරු නිර්මාණ ශිල්පය

* ලක්දිව බුදු පිළිමය

* රුහුණේ පැරණි ලිපි

* අපේ ජපන් ගමන

* මහවැලි වංශකථාවේ 12 පරිච්ඡේදය

* මහවැලි නිම්නයේ පුරාවස්තු

* බුද්ධ චරිතය හා බෞද්ධ කථා (2, 3, 4, 5 ශ්‍රේණි)

* බුද්ධ ධර්ම සංග්‍රහය (6, 7, 8 ශ්‍රේණි)

* බුද්ධ ධර්ම සංග්‍රහය (අ. පො. ස. සා. /පෙ.)

* රුවන්දෝ ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය 1975

* ප්‍රාචීන භාෂෝදය සඟරාව (සම සම්පාදක)

* සඟරා වලට සැපයූ සිය ගණනක් ලිපි

* පුවත්පත් වලට සැපයූ සිය ගණනක් ලිපි

මහාචාර්ය අතිපූජ්‍ය කඹුරුපිටියේ වනරතන මාහිමිපාණන් වහන්සේ ඓතිහාසික පුරා විද්‍යාත්මක සංකේතයක් මිහි මව තුළ සැඟව තිබූ නිධානයක් ලොවට හෙළි කිරීම අතිශ්‍රේෂ්ඨත්වයට පත් වීමට හේතු විය. එය නම් පනාකඩු තඹ සන්නස කියවීමයි. ඒ 1955 වර්ෂයේදී පමණය. මෙතෙක් සොයාගෙන ඇති පැරණිම තඹ සන්නස වන පණාකඩු තඹ සන්නස කියවීමේ භාග්‍යය උදාකර ගත් උන් වහන්සේ ” පුරා විද්‍යා චක්‍රර්වතී ” යන නාමයටම අර්ථවත් විය. මෙබඳු ශ්‍රේෂ්ඨ වූ නාමයක් ලොවට ඉතිරි කළ මේ මහා බුද්ධ පුත්‍රයාණන් වහන්සේ 1998 නොවැම්බර් 18 වෙනි දින අපවත් වූහ.

පණාකඩු තඹ සන්නස පිළිබඳ වැඩි විස්තර ඔබට මෙතැනින් කියවිය හැකිය.–> විකිපීඩියා

Scroll to Top